ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි, ජාතික තත්ත්ව ආරක්ෂණ වැඩසටහනෙහි විකාශනය 1989 දක්වා දිව යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 1995 දී ජාතික තත්ත්ව ආරක්ෂණ වැඩසටහන පිළිබඳ අත්පොත ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සමහර ආයතන විසින් තම ආයතන තුළ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් හඳුන්වාදීමේ සංකල්පය පිළිගත්තේය. “ඵලදායිතාව තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්”යන සංකල්පය සමඟ තත්ත්ව ආරක්ෂණ වැඩසටහන 2000 දී නැවත ක්‍රියාත්මක කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික තත්ත්ව ආරක්ෂණ වැඩසටහ‍නෙහි කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල (ශික්ෂණ) හඳුනාගෙන තිබුණි. එතැන් සිට මෙම වැඩසටහන දිවයින පුරා පිහිටි වෙනත් රෝහල් වෙත ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අම්පාර දිස්ත්‍රික් මහ රෝහල, පේරාදෙනිය ශික්ෂණ රෝහල සහ කුරුණගල පළාත් මහ රෝහල වැනි රෝහල්, ඔවුන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. පළාත් සභා වලට අයත් රෝහල්වල සම්පත් සීමිත බැවින් ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ හැක්කේ රේඛීය අමාත්‍යාංශ ආයතනවල පමණක් බවට එකල විශ්වාස කෙරිණි. නමුත් 2004 - 2005 දී මහියංගන මුලික රෝහලෙ හි ගුණාත්මකබව වැඩිදියුණු කිරීමේ වැඩසටහන පළාත් සභා මගින් පාලනය කරනු ලබන රෝහල් සහ අනෙකුත් කුඩා රෝහල් වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය අඩිතාලම සකස් කරන ලදි. මෙම අත්දැකීමත් සමඟ වයඹ පළාතේ විවිධ පරිපාලන මට්ටම්වල රෝහල් පහක, නියමු ව්‍යාපෘති සිදු කරන ලදී. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දුන්නේය. 2007-2009 දී මෙම අත්දැකීම ඇතිව දකුණු හා ඌව පළාත්වල රෝහල් අටක් දක්වා, මෙම වැඩසටහන පුළුල් කරන ලදී. ගුණාත්මභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහනට පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සඳහා දිස්ත්‍රික් තත්ත්ව ආරක්ෂණ ඒකකයන් සහ රෝහල් තත්ත්ව කළමනාකරණ ඒකකයන් පිහිටුවීමේ වැදගත්කම මෙම නියමු ව්‍යාපෘතියෙන් අනාවරණය විය. තවද රට පුරා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහනට පහසුකම් සැලසීම සඳහා මූලස්ථානයක් පිහිටුවීමට ද නිර්දේශ කරන ලදී. ඒ අනුව ලෝක බැංකුව යටතේ ඇති සෞඛ්‍ය අංශය සංවර්ධනය කිරීමේ අරමුදල් යටතේ ජාතික තත්ත්ව ආරක්ෂණ වැඩසටහන සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරන ලදි.

සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලයේ විෂය පථය හා කාර්යයන් තීරණය කිරීම සඳහා උපදේශක කමිටුවක් 2012 අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලදී. “මධ්‍යගතව මෙහෙයවන ආයතන වශයෙන් නායකත්වය දෙන, සායනිකව වූ, රෝගියා කේන්ද්‍ර කරගත්, අඛණ්ඩ ලෙස ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන” නම් මූලධර්මය යටතේ කටයුතු කරන මෙම අධ්‍යක්ෂ කාර්යාලය 2012 අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලදි. එදින සිට අධ්‍යක්ෂ කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩ සටහන සඳහා අදාල වැඩ කටයුතු සැලසුම් සහගතව සිදු කර ඇත. මේ යටතේ අධීක්ෂණ හා ඇගයීම් යාන්ත්‍රණ ආරම්භ කිරීම, රේඛීය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් වල (රෝහල් 42ක) කාර්ය සාධන සමාලෝචන රැස්වීම් කාර්තුමය වශයෙන් සහ පළාත් සභා වලට අයත් ආයතන වල - (මූලික රෝහල් B සහ ඊට වැඩි (රෝහල් 101ක)) අර්ධ වාර්ෂික වශයෙන් කාර්ය සාධන ඇගයීම් පැවැත්වීම සිදු කරන ලදී. සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය 2013 දී “අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වේදිකාවක් “ද නිර්මාණය කරන ලදී.

2013 දී සාමාන්‍ය දර්ශක 20 ක්, කාර්ය සාධන දර්ශක, පිරික්සුම් ලැයිස්තුව සහ ශල්‍ය ආරක්ෂණ පිරික්සුම් ලැයිස්තුව (චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ද සමග) හඳුන්වා දුන් අතර 2015 දී සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතා ජාතික ප්‍රතිපත්තිය හා සෞඛ්‍යාරක්ෂණ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතා පිළිබඳ ප්‍රධාන පුහුණුකරුවන්ගේ අත්පොත ද භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත් කෙරිණි. සෞඛ්‍යාරක්ෂණ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතා පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වාර්ෂික පුහුණු කිරීම් ආරම්භ කරන ලද අතර රෝහල්වල මධ්‍යම හා ඉහළ මට්ටමේ කළමනාකරුවන් සඳහා රෝගී සුරක්ෂීතතාව පිළිබඳ පුහුණු වැඩමුළු ද පැවැත්විණි. 2016 දී අහිතකර සිදුවීම් වාර්තා කිරීමේ (Adverse Event Reporting) යාන්ත්‍රණය ස්ථාපිත කරන ලද අතරනැවත ඇතුලත් වීමේ ආකෘති පත්‍රය (Readmission Form) සහ ඊට අදාල මාර්ගෝපදේශ හඳුන්වා දෙන ලදී. සායනික විගණන (Clinical Audit) පිළිබඳ පුහුණුව 2017 දී හඳුන්වා දෙන ලදී. ‘සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ වගකීම’ පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කරන ලද අතර රෝහල් වල කාර්ය සාධන සමාලෝචන සිදු කරනු ලබන ආකෘතිය ද සංශෝධනය විය. විශේෂඥ කේෂ්ත්‍ර හතරක් සඳහා සායනික දර්ශක හඳුන්වාදීම ද (Clinical Indicators) සිදුකරන ලදී. 2018 දී Australian Council of Health Services සමඟ එක්ව රෝහල් හයක විශ්ලේෂණ වැඩමුළු සහ අඩුපාඩු විශ්ලේෂණය සිදු කරන ලදී.

ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධීකරණය හා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්‍ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය විසින් 2019 අගෝස්තු මාසයේදී, 2020-2024 සඳහා රෝගී සුරක්ෂීතතාව සහ රැකවරණයෙහි ගුණාත්මකභාවය සඳහා උපායමාර්ගික සැලැස්මක් (Strategic Plan) සකස් කිරීමට සහාය වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටින ලදී. ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන ප්‍රතිඵල ක්ෂේත්‍ර සඳහා පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම් හඳුනාගැනීම ආරම්භ කරන ලදී. සංශෝධිත ජාතික ප්‍රතිපත්තිය පාර්ශවකරුවන්ගේ පොදු එකඟතාවයෙන් සකස් කරන ලදී. ප්‍රාදේශීය නායකත්වයේ වැදගත්කම, දත්ත කළමනාකරණය සහ හොඳම ආයතනය ‍තෝරා ඒවා අනුගමනය කිරීමේ (peer benchmarking) වැදගත්කම අවධාරණය කෙරිණි. මෙම ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ රෝගී සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය ගුණාත්මකභාවය ඊළඟ මට්ටමට නැං‍වෙනු ඇති අතර, රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක ක්‍රියාදාමයන් දියුණු තත්ත්වයට පත්වීම (නව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය රෝගී සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමිතීන්ට අනුකූලව) සහ ගෝලීය රෝගී සුරක්ෂිතතාව පිළිබඳ 2019 ලෝක සෞඛ්‍ය සමුළුවේ යෝජනාවන්ට සහාය වීමද වනු ඇත.