පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක දකුණු ආසියානු කලාපීය සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පවතී. මෙම තත්වය තව දුරටත් වැඩිදියුණු කිරීම සඳහා රෝගීන් කේන්ද්‍ර කරගත් ගුණාත්මක සහ ආරක්‍ෂිත රෝගී සත්කාරක සේවාවක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතුය.

බොහෝ රෝහල් විසින් විවිධ වර්ගයේ ගුණාත්මක සංකල්ප අත්හදා බලා ඇතත්, නොයෙකුත් හේතූන් නිසා එහි අඛණ්ඩ වැඩිදියුණු කිරීමක් පවත්වාගැනීමට ඔවුන් අසමත් වී ඇත. එයට හේතුව ලෙස සෞඛ්‍ය පද්ධතිය තුළ හඳුනාගෙන ඇති ප්‍රධාන කරුණ වූයේ රට පුරා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් නොමැතිකමයි. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය මගින් අඛණ්ඩ ගුණාත්මකභාවය වර්ධනය වෙනුවෙන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. එමඟින් ඔවුන්ගේ හැකියාවන් සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් දක්ෂ වෘත්තිකයෙකු ලෙස අන්‍යයන්ට පුහුණුව ලබා දීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත.

තවද, වසර 2015 දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් ප්‍රධාන පුහුණුකරුවන් සඳහා භාෂා තුනෙන්ම ලියැවුණු අත්පොතක් ද සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ප්‍රකාශයට පත්කරන ලදී.

සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ දින පහක මූලික පුහුණු වැඩසටහනක් තෝරාගත් සෞඛ්‍ය සේවා ආයතනවල සහභාගීවන්නන් 40 දෙනෙකු සඳහා පවත්වනු ලැබේ. මේ සඳහා එක රෝහලකින් හතර දෙනෙක් බැගින් වන කණ්ඩායමක් සහභාගී වන අතර , රෝහල් අධ්‍යක්ෂ / වෛද්‍ය අධිකාරී, විශේෂඥ වෛද්‍ය , තත්ත්ව ආරක්ෂණය පිලිබඳ වෛද්‍ය නිලධාරි , විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී, හෙද නිලධාරී, සංවර්ධන නිලධාරී, ආසාදන පාලන හෙද නිලධාරී, සහ පරිපූරක වෛද්‍ය වෘත්තික යන සේවා කාණ්ඩවලට අයත් සාමාජිකයින් මෙම පුහුණුව සඳහා තෝරා ගැනේ.

මෙම පුහුණු වැඩසටහන පහත දැක්වෙන පුළුල් ක්ෂේත්‍ර ආවරණය කරයි:

  • එස් 5, කයිසන්, අඛණ්ඩ තත්ව වැඩිදියුණු කිරීම , සමස්ත තත්ත්ව කළමනාකරණයෙහි මූලික සංකල්ප.
  • තත්ත්ව වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයන් භාවිතා කිරීම.
  • සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් සහ ප්‍රතීතනය
  • රෝගී ආරක්ෂාව පිළිබඳ සංකල්ප සහ මේ පිළිබඳව විවිධ සායනික අංශයන්හි අත්දැකීම් බෙදා ගැනීම.
  • ඖෂධ සුරක්ෂිතතාවය
  • කුසලතා සංවර්ධනය (ඉදිරිපත් කිරීමේ කුසලතා, මෘදු කුසලතා ආදිය)
  • කණ්ඩායම් ගොඩනැගීම
  • තොරතුරු කළමනාකරණය පිළිබඳ හැඳින්වීම

මෙම පුහුණු සැසි සෞඛ්‍යාරක්ෂණ , ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය විසින් පිළිගත් දක්ෂ පුහුණුකරුවන් විසින් පවත්වනු ලැබේ. ඒ සඳහා වෛද්‍ය පරිපාලකයින්, වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සම්බන්ධ කරගනු ලබන අතර වැඩසටහන අවසානයේ සිදුකෙරෙන ඇගයීම සාර්ථකව නිම කරන සහභාගිවන්නන්ට සහතිකයක් ද නිකුත් කෙරේ.