මාර්ගෝපදේශ වල අරමුණු රාශියක් ඇත. එනම් රෝගී සත්කාරයේ ඵලදායීතාවය සහ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, සායනික ක්‍රියාවලියේ වෙනස්කම් අඩු කිරීම, පිරිවැය අඩුකිරීම සහ වළක්වා ගත හැකි වැරදි / අහිතකර සිදුවීම් අඩු කිරීම යන අරමුණු වේ. එමගින් විගණනය කළ හැකි මිණුම් දඬු හා ප්‍රමිති සැපයීම හා අවසන් ප්‍රතිඵල සංසන්දනය කර වැඩි දියුණු කිරීමද සිදුකල හැකිය.

2010 දී සෞඛ්‍ය අමාත්‍යාංශය, ජපානයෙහි ජයිකා ආයතනය සමඟ එක්ව රෝහල්, රෝග නිවාරණ අංශ සහ ශ්‍රී ලංකාවේ විශේෂ පුහුණු මධ්‍යස්ථාන සඳහා රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලදී.

2012 සිට සායනික හා ගුණාත්මකභාවය පිළිබඳ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යලය සම්බන්ධ වී ඇත. ඒ අනුව අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් අදාල විෂය‍න් සම්බන්ධ විශේෂඥ කමිටු රැස්වීම් පැවැත්වීම, අවශ්‍ය අනු කමිටු පත් කිරීම, පාර්ශවකරුවන් අතර සම්බන්ධීකරණය සහ මුද්‍රණ කටයුතු සිදු කිරීම යන කාර්යයන් සිදුකොට ඇත. එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය විසින් රට තුළ සකස් කරනු ලබන සියලුම මාර්ගෝපදේශ ‍‍‍බෙදාහැරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට ද අපේක්ෂා කරයි.

  • මධ්‍යම වන්ධ්‍යාකෘත සැපයුම් දෙපාර්තමේන්තුවේ (CSSD) කළමනාකරණය සහ සැලසුම් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සකස් කිරීම. මේ සඳහා,
    • උපදේශන රැස්වීම් පහක් පැවැත් වූ අතර ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්, පරිපාලකයින්, ජෛව වෛද්‍ය ඉංජිනේරුවන්, ව්‍යුහාත්මක ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, හා හෙද කාර්ය මණ්ඩලය යන ‍කේෂ්ත්‍ර වල සම්පත්දායකයන්ගෙන් මෙම කමිටුව සමන්විත විය.
    • අනුකමිටු රැස්වීම් හතරක් පැවැත්විණි.
  • MRI (Magnetic Resonance Imaging) ස්කෑන් යන්ත්‍ර සඳහා ආරක්ෂිත මාර්ගෝපදේශය සකස් කිරීම. මේ සඳහා,
    • කෙටුම්පත් කරන ලද ලේඛනය සකස් කිරීම සඳහා අවසන් උපදේශන රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
    • ඉහළ කළමනාකරීත්වයෙහි එකඟතාවය ලබා ගැනීම අවශ්‍ය වේ.
    • උපදේශන රැස්වීම් මාලාවක් පවත්වා කෙටුම්පතක් සකස් කරන ලදී.
  • ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ජාතික මාර්ගෝපදේශය සකස් කිරීම. මේ සඳහා,
    • මූලික කොටස් සාකච්ඡා කිරීම හා අනුවර්තනය (Adaptation) කිරීම සඳහා අනුකමිටු 8 ක් කැඳවිය යුතුය.
    • තවත් අනුකමිටු 11 ක් පත් කිරීමට නියමිතය.
    • ඉදිරි සැලැස්ම සකස් කළ යුතුය.

මෙම මාර්ගෝපදේශය සකස් කිරීම සඳහා ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්ගේ සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, ළමා රෝග විශේෂඥයින්ගේ සංගමය, ශල්‍ය වෛද්‍ය සංගමය, රජයේ රෝහල් කාර්ය මණ්ඩලය, රෝහල් පරිපාලකයින්, ආසාදන පාලන වෛද්‍ය නිලධාරීන් සහ ආසාදන පාලන හෙද නිලධාරීන්, තත්ත්ව කලමනාකරණ ඒකකවල කාර්ය මණ්ඩලය සහ පෞද්ගලික නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් එක් උපදේශන රැස්වීමක් පවත්වන ලදී.