ඖෂධ සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු ලොව පිළිගත ‍නොහැකි ලෙස මරණ හා ආබාධ සංඛ්‍යාවකට දායක වන ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇත. 2016 දී බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව ප්‍රකාශයට පත් කර ඇති පරිදි, එක්සත් ජනපදයේ මියයෑම් සඳහා තුන්වන ප්‍රධාන හේතුව වන්නේ ඖෂධ පිළිබඳ දෝෂයි. බරපතල හා ජීවිතයට තර්ජනයක් වන සිදුවීම් බොහොමයකට ඖෂධ වැරදි ලෙස භාවිතා කිරීම හේතු වේ. මධ්‍යම හා අඩු ආදායම් ලබන රටවල සිදුවන ඖෂධ පිළිබඳ දෝෂ ඉහළ ආදායම් ලබන රටවලට වඩා ඉහළ අගයක් ගනී.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2017 දෙවන අන්තර්ජාතික අමාත්‍ය සමුළුවේදී ඖෂධ සුරක්‍ෂිතතාවය, ගෝලීය රෝගීන්ගේ සුරක්ෂිතතා අභියෝගයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. මෙම අන්තර්ජාතික සමුළුවේදී, ඉදිරි වසර 5 තුළ ඖෂධ දෝෂ හේතුවෙන් සිදුවන හානිය 50% කින් අඩු කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන බවට ප්‍රතිඥා දෙන ලෙස සියලු රටවලින් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්‍ෂිතතා අධ්‍යක්‍ෂ කාර්යාලය (DHQS) යනු ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය සුරක්ෂිතතා ගුණාත්මක සහ සුරක්‍ෂිතතා වැඩසටහනේ මූලස්ථානයයි. සුරක්ෂිත සායනික ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන් සඳහා වැඩසටහන් ශක්තිමත් කිරීම සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන උපාය මාර්ගික අංශයකි.

ඖෂධ සුරක්‍ෂිතතාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයෙකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පති මහත්මිය ශ්‍රී ලංකාව සඳහා ඖෂධ සුරක්‍ෂිතතාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට මූලිකත්වය ගෙන අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලදී.

ඖෂධ සුරක්‍ෂිතතා ක්‍රියාකාරී සැළසුම් ක්‍රියාවට නැංවීම සඳහා යෝජිත සැලැස්ම සියලු පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්‍ෂිතතා අධ්‍යක්‍ෂ කාර්යාලය විසින් උපදේශන රැස්වීම් හයක් පවත්වන ලදී.

මෙම උපදේශන රැස්වීම් සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්‍ෂිතතා අධ්‍යක්‍ෂ කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර තාක්ෂණික සහාය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පති මහත්මිය සහ වෙනත් සම්පත්දායකයින් රැසක් විසින් සපයන ලදී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල ඖෂධ දෝෂ අවම කිරීමේ අරමුණින් මෙම ක්‍රියාකාරී සැලැස්ම ස්ථාපිත කරන ලදී. මෙම ක්‍රියාකාරී සැලැස්ම 2021 දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ඇතිව දියත් කිරීමට නියමිතය.