ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්‍ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය (DHQS) ජාතික සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්‍ෂිතතා වැඩසටහනේ මූලස්ථානය ලෙස කටයුතු කරයි. එය 2015 වර්ෂයේදී දියත් කරන ලද සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මත පදනම්ව රටේ සෞඛ්‍ය කේෂත්‍රයෙහි තත්ත්ව ආරක්ෂණ සහතික කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ජාතික හා ගෝලීය අවශ්‍යතා හා ප්‍රවණතාවන්ට සරිලන සේ, පවත්නා ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හා ඉදිරි පස් වසර සඳහා අධීක්ෂණ හා ඇගයීම් රාමුවක් සමඟ උපායමාර්ගික සැලැස්ම සකස් කිරීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්‍ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය විසින් හඳුනාගෙන ඇත. ප්‍රතිපත්ති සංශෝධනය සඳහා විශේෂඥ අදහස් ලබා ගැනීම, උපායමාර්ගික සැලසුම්, අධීක්ෂණය හා ඇගයීම් රාමුව සඳහා මාර්ග සිතියම සකස් කිරීම අරමුණු කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙකුගේ සේවාව ලබා දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙම කාර්යය සඳහා සිය සහයෝගය ප්‍රකාශ කරන ලදී.

ජාතික ප්‍රතිපත්තියේ එක් එක් ප්‍රධාන ක්ෂේත්‍ර (Key result area) සඳහා පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම් පිහිටුවීමෙන් මෙම සැලසුම සකස් කිරීම සිදුකරන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මහාචාර්ය කෙල්වින් ටැන්ගේ මූලිකත්වයෙන් උපදේශන රැස්වීම් මාලාවක් පවත්වන ලදී. තවද, අදාල ලිපි ලේඛණ හැදෑරීම හා ක්ෂේත්‍ර නිරීක්ෂණයෙන් කරනු ලබන තක්සේරු මගින් ද මෙයට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලදී.

මෙම ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ සුරක්ෂාව සහ සෞඛ්‍ය සේවායෙහි ගුණාත්මක භාවය ඉහළ මට්ටමකට ගෙන එනු ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ගෝලීය රෝගී සුරක්ෂීතතා ප්‍රමිතීන්ට අනුකූලව රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක ක්‍රියාවලීන් සඳහා ඉහළ තත්ත්වයක් අත්කර ගනු ඇත.

ප්‍රධාන ‍ක්ෂේත්‍ර

  • පාරිභෝගික / රෝගියාගේ තෘප්තිය - රෝගීයාගේ මනාපයන්, අපේක්ෂාවන් සහ වටිනාකම් වලට ප්‍රතිචාර දක්වන රෝගීයා කේන්ද්‍ර කරගත් සත්කාර සඳහා ආයතනික සැකසුම් ශක්තිමත් කිරීම.
  • නායකත්වය, පාලනය සහ පද්ධති - ගුණාත්මකභාවය හා රෝගීන්ගේ සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී නායකත්වයක් ඇති කිරීම සහ පාලන / පද්ධති සංවර්ධනය කිරීම
  • සායනික කාර්යක්ෂමතාව - රෝගියාට හැකි උපරිම ප්‍රතිලාභ සහතික කිරීම සඳහා සාක්ෂි පදනම් කරගත්, සදාචාරාත්මකව පිළිගත් සායනික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම
  • අවදානම් කළමනාකරණය සහ ආරක්ෂාව - රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඖෂධ, ක්‍රියා පටිපාටි සහ අහිතකර සිදුවීම් වලින් ඇති වන අවදානම අවම කිරීම.
  • ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා සංස්කෘතියක් ඇති කිරීම - සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ පරිසර හිතකාමී සෞඛ්‍ය සේවා සංවිධාන නිර්මාණය කිරීමට පොදු වටිනාකම් සහතික කිරීම මගින් ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමේ උපාය මාර්ග ආයතනගත කිරීම.
  • කාර්ය මණ්ඩල සංවර්ධනය හා යහපැවැත්ම - සෞඛ්‍ය සේවයේ ඵලදායිතාව, ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා දක්ෂ, සෞඛ්‍ය සම්පන්න සහ තෘප්තිමත් ශ්‍රම බලකායක් ඇති කිරීම.
  • ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ රෝගීන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ පර්යේෂණ - ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ රෝගීන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම.