සියලුම රජයේ රෝහල් මහජන මුදල් වලින් පවත්වාගෙන යනු ලැබේ. අසනීප සඳහා හෝ රෝගීන් බැලීමට පැමිනෙන්නන් ලෙස ජනතාවට රෝහල් වෙත පිවිසිය හැකිය. ර‍ජයේ රෝහල් මගින් සපයනු ලබන සේවාවන් පිළිබඳ මහජනයා දැනුවත් කිරීමට යාන්ත්‍රණයක් නොමැති බැවින් රෝහල් මගින් සපයන සේවාවන් පිළිබඳ ජනතාව හොඳින් දැනුවත්ව නැත. මෙම දැනුවත් භාවය නොමැතිකම, රෝගීන් විසින් සමහර සෞඛ්‍ය ආයතන මඟ හැරයෑම, අනවශ්‍ය ලෙස පෞද්ගලික අංශයෙන් සේවා ලබාගැනීම සහ තෘතීයික සත්කාරක ආයතනවල තදබදය වැඩි කිරීමට හේතුවේ.

“රෝහල් විවෘත දිනය” වැනි සංකල්පයක් හඳුන්වා දීමෙන් රෝහල් බලධාරීන්ට ඔවුන් විසින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනතාවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇත.

දෙපාර්ශවය අතර සන්නිවේදන පරතරය අඩු කිරීමට සහ හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමටද මෙය උපකාරීවනු ඇත. රෝහල් ජනතාවට නිරාවරණය වූ පසු, ආයතනවල පවත්නා අවශ්‍යතා හඳුනාගැනීමට ද ඔවුන්ට හැකිය. මෙය පරිත්‍යාගශීලීන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට හේතුවනු ඇත. මෙය මූල්‍ය පරිත්‍යාග, රුධිර පරිත්‍යාග සහ අවයව පරිත්‍යාග කිරීම සඳහා ලියාපදිංචි වීම දක්වා වෙනස් විය හැක. එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සියලු පාර්ශවකරුවන්ට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව (National Health System / NHS) විසින් රෝහල් තුළ රෝහල් විවෘත දිනය පැවැත්වීම ගෝලීය උදාහරණ කීපයකින් එකකි. ‍එහෙත් ඒවායේ ප්‍රතිඵල හා බලපෑම පිළිබඳ තොරතුරු තවමත් හිඟය.

මෙම වැඩසටහන කොටස් දෙකකින් සමන්විත වේ.

  • රෝහල් විවෘත දින පැකේජය සකස් කිරීම හා රැස්වීම් මාලාවක් හරහා ඒ සඳහා මග පෙන්වීම.
  • ශ්‍රී ලංකාවේ තෝරාගත් රෝහල්වල “විවෘත දින වැඩසටහන” ක්‍රියාත්මක කිරීම.