සෞඛ්‍ය ආරක්ෂණ, ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාව සඳහා වූ ජාතික වැඩසටහන වසර ගණනාවක් මුළුල්ලේ රට පුරා ක්‍රියාත්මක වේ. රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට ගුණාත්මක හා ආරක්‍ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අත්‍යවශ්‍යම අංගයක් ලෙස “සායනික විගණනය” සැලකේ.

අර්ථ දැක්වීමට අනුව, සායනික විගණනය යනු පැහැදිලි නිර්ණායකයන්ට අනුව ක්‍රමානුකූලව සමාලෝචනය කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් රෝගී සත්කාර සහ රෝගීන් සුවවීමේ ප්‍රවණතාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියකි.

සරලවම, සායනික විගණනය යනු විවිධ මාතෘකා ඔස්සේ රෝගී සත්කාරයන්හි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් ලෙස විස්තර කෙරේ. මෙහිදී, දැනට පවත්වාගෙන යනු ලබන සායනික පුහුණුව අපේක්ෂිත කාර්යසාධන මට්ටමට අනුකූලද යන්න සලකා බලන අතර එය අපේක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල නොවන අවස්තා වලදී ගතයුතු පියවර සහ ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරදෙනු ලබයි. මෙහිදී , පුද්ගලයකු, කණ්ඩායමක් හෝ සේවා මට්ටමින් අවශ්‍යවන වෙනස්කම් ක්‍රියාත්මක කරනු ලබන අතර, එමගින් සෞඛ්‍ය සේවා ගුණාත්මක භාවයෙහි වැඩිදියුණු වීම තහවුරු කිරීම සඳහා වැඩිදුර අධීක්ෂණය කරනු ලැබේ.

එබැවින්, සෞඛ්‍යාරක්ෂණ ගුනාත්මක සහ සුරක්‍ෂිතතා අධ්‍යක්‍ෂ කාර්යාලය විසින් රේඛීය අමාත්‍යාංශ සහ පළාත් අමාත්‍යාංශ රෝහල් සඳහා නිකුත් කරන ලද කාර්ය සාධන සමාලෝචන ආකෘතියෙහි ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාව පිළිබඳ කාර්ය සාධනය තක්සේරු කිරීමේ දර්ශකයක් ලෙස එක් කාර්තුවක් තුලදී සිදුකරනු ලබන සායනික විගණන සංඛ්‍යාව කොපමණද යන්න ඇතුළත් කර ඇත. නමුත් වෛද්‍ය වෘත්තිකයන් අතර සායනික විගණනය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති වීම හේතුවෙන් කාර්තුවකට සිදු කරන ලද සායනික විගණන සංඛ්‍යාව ඉතා අඩු ප්‍රමාණයක් විය.

එබැවින් සායනික විගණනය පිළිබඳව වගකිවයුතු නිලධාරීන් වන වෛද්‍ය පරිපාලකයින්, විශේෂඥ වෛද්‍යවරුන් , තත්ත්ව කළමනාකරණ ඒකකයන්හි වෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන් අතර සායනික විගණනයට අදාළ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් සෞඛ්‍යාරක්‍ෂක ගුණාත්මක සහ සුරක්‍ෂිතතා අධ්‍යක්‍ෂ කාර්යාලය විසින් සායනික විගණන වැඩමුළු ආරම්භ කරන ලදී.

සෞඛ්‍යාරක්ෂණ ගුනාත්මක සහ සුරක්‍ෂිතතා අධ්‍යක්‍ෂ කාර්යාලය විසින් වාර්ෂිකව දෙදින වැඩමුළු තුනක් පවත්වනු ලැබේ. මෙම වැඩමුළු දේශන, කණ්ඩායම් සාකච්ඡා සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත වන අතර, ඒ සඳහා රෝහල් 10 කින් වෛද්‍ය පරිපාලකයින්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ හෙද නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වේ. මෙහිදී සෑම සහභාගිවන්නකුටම සහභාගීත්වය සඳහා සහතිකයක් ද ප්‍රදානය කෙරේ.

 දිනය  Admin  MO  NO  වෙනත්  එකතුව
ජුනි මස 18 සහ 19 7 17  17 7 48
ජූලි මස 23 සහ 24 6 17  20 5 48
ඔක්තෝම්බර් මස 22 සහ 23 6 15  22 7 50