ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි මූලික පරමාර්ථය වී ඇත්තේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම, එය නොමිලේ ලබා දීම සහ රටපුරා සාධාරණ ආවරණයක් සහතික කිරීමයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය පද්ධතිය, රට මුහුණදෙන ජන විකාශන, වසංගත හා සමාජ සංක්‍රාන්ති යන නව අභියෝගයන්ට මුහුණ දෙයි. සෞඛ්‍ය පද්ධතිය දැනට මුහුණ දී ඇති ප්‍රධාන ගැටළු වනුයේ, ප්‍රාථමික මට්ටමේ රෝග නිවාරණ සත්කාරක ආයතන අවම භාවිතයක තිබීම, ස්වයං යොමු කිරීමේ සංස්කෘතිය සහ ඵලදායී යොමු කිරීමේ යාන්ත්‍රණයෙහි අඩුපාඩු නිසා, රෝගීන්ට ආසන්නතම ප්‍රාථමික සත්කාරක ආයතන මඟහැරීම වේ.

ප්‍රාථමික සත්කාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන තුළින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අඛණ්ඩව කැපවී සිටීයි. මෙහි මුලික පරමාර්ථය වනුයේ හොඳින් ඒකාබද්ධ වූ, පුළුල් හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් තුළින්, රට තුළ අත්විඳින රෝග ප්‍රමාණය‍ට අදාළව සියලු පුරවැසියන්ට විශ්ව සෞඛ්‍ය ආවරණයක් සහතික කිරීමයි.

සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාව පිළිබඳ ඉහළම ආයතනය ලෙස සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය ප්‍රාථමික හා සත්කාරක ආයතන විසින් පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් සපයනු ලබන සත්කාර සේවයේ ගුණාත්මකභාවය තක්සේරු කළ හැකි අධීක්ෂණ මෙවලමක් සහ දර්ශක සකස් කිරීමේ කාර්යය ඉටුකරන ලදී.

සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය විසින් පහත සඳහන් කරුණු මත පදනම්ව, අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, අධීක්ෂණ මෙවලම වැඩිදියුණු කරන ලදී:

  • පිරික්සුම් ලැයිස්තුව පදනම් කර ගෙන, භෞතික යටිතල ව්‍යුහයේ, පිරිසිදුකම සහ බාහිර පෙනුම
  • ඖෂධ ගබඩා කිරීම සහ ලබා ගැනීම.
  • රෝගී සත්කාරය සඳහා ගතවන කාලය, රෝගියා ඇතුල්වීමේ සිට පිටවීම දක්වා සමස්ත ක්‍රියාවලිය සඳහා ගතවන කාලය ගණනය කිරීම
  • පිරික්සුම් ලැයිස්තුවක් මත පදනම්ව, සේවාදායක හා සැපයුම්කරුවන් අතර අන්තර්ක්‍රියා නිරීක්ෂණය කිරීම.
  • සුදුසු මාර්ගෝපදේශ වලට අනුකූලව, වාර්තාකරණය සිදු කිරීම.
  • ලැබුණු සත්කාරයේ ගුණාත්මකභාවය පිළිබඳ සේවාදායකයින්ගේ තෘප්තිය පරික්ෂා කිරීම

ප්‍රාදේශීය සෞඛ්‍ය ‍සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින්, අඛණ්ඩ අධීක්ෂණ චාරිකා සිදු කළ යුතු අතර වැඩිදුර විශ්ලේෂණය සඳහා අදාල වාර්තා කාර්තුමය පදනම මත, සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලය වෙත යැවිය යුතුය.