ශ්‍රී ලංකාවේ අහිතකර සිදුවීම් වාර්තා කිරීමට පහසුකම් සැපයීම

රෝගීන්ගේ ආරක්ෂාව, සියලුම සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ අවධානයට යොමු වන ප්‍රධාන කරුණකි. අප රෝහල් අප සිතන තරම් ආරක්ෂිතද? මෙම රෝගී සත්කාරක ආයතනවලින් විෂමාචාර, නොසැලකිල්ල සහ අහිතකර සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වේ.

ගෝලීය වශයෙන්, අහිතකර සිදුවීම් වාර්තා කිරීම, ඵලදායී රෝගී ආරක්‍ෂිත පද්ධතිවල කේන්ද්‍රීය අංගයක් බවට පත්ව ඇතත්, ඒවායේ වර්ධනය හා ක්‍රියාත්මක කිරීම මන්දගාමී වී ඇත. එවැනි සිදුවීම් වලින් ඉගෙනීම, සෑම මට්ටමකම ආරක්ෂිත සෞඛ්‍ය සේවා පද්ධති නිර්මාණය කිරීමේදී තීරණාත්මක අංගයක් බව පිළිගෙන ඇත.

රෝගීන්ගේ සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කළ හැකි, තොරතුරු ලබා ගන්නා වාර්තාකරණ පද්ධති වැඩි දියුණු කිරීම හෝ සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2016 දී සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂිතතාව පිළිබඳ අධ්‍යක්ෂ කාර්යාලය විසින් “අහිතකර සිදුවීම් වාර්තාකරණය” පිළිබඳ මාර්ගෝපදේශ හඳුන්වා දෙන ලදී. වාර්තාකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ, පද්ධති අසමත්වීම් (System Failure) කෙරෙහිය .මෙම වාර්තාකරණ පද්ධතියෙන් කිසිදු සෞඛ්‍ය සේවකයෙකුට ද‍ඬුවම් කිරීම හෝ වරද සෙවීමක් සිදුනොවන අතර ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා වන පද්ධති වැඩි දියුණු කිරීමක් පමණක් සිදුවේ. වාර්තා කිරීම හරහා පහත ක්‍රම මගින් ඉගෙනීමට පහසුකම් සැලසීම සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන ලදී.

  • සැලකිය යුතු නව උපද්‍රව සම්බන්ධයෙන් “ඇඟවීම්” ජනනය කිරීම.
  • සෞඛ්‍ය සේවා සංවිධාන විසින් බරපතල සිදුවීමක් විමර්ශනය කිරීමෙන් "උගත් පාඩම්" බෙදා හැරීම.
  • අවධානය යොමු කළ යුතු හඳුනා නොගත් ප්‍රවණතා සහ උපද්‍රව හෙළි කළ හැකි, වාර්තා විශ්ලේෂණය කිරීම සහ පද්ධති අසමත් වීම් පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම.
  • සැමට අනුගමනය කළ හැකි “යහ භාවිතයන්” (Best Practices) සඳහා නිර්දේශ ජනනය කිරීම.

නැවත ඇතුලත් කිරීම් වාර්තා කිරීම

රෝහල් වලට නැවත ඇතුළත් කිරීම්, ලොව පුරා සෞඛ්‍ය සේවා වල ප්‍රකට ගැටළුවක් වේ. නැවත ඇතුළත් කිරීම යනු එකම රෝගී තත්වයක් හේතුවෙන් රෝහලෙන් පිටව ගොස් දින 30 ක් ඇතුළත එම රෝහලට හෝ වෙනත් රෝහලකට සැලසුම් නොකළ රෝහල් ගත කිරීමකි (Unplanned admissions). සමහර සැලසුම් නොකළ නැවත ඇතුළත් වීම් වැළැක්විය නොහැකි බව සැලකිල්ලට ගැනීම වැදගත් වේ. කෙසේ වෙතත්, සැලසුම් නොකළ නැවත ඇතුළත් කිරීම් සෞඛ්‍ය අංශයට බරක් වේ. රෝහලකට සැලසුම් රහිතව නැවත ඇතුළත් කරන රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීම, රෝහල් සත්කාරයේ ගුණාත්මකභාවය තක්සේරු කිරීමට භාවිතා කරන දත්ත කාණ්ඩයකි.

2016 දී සෞඛ්‍ය ආරක්ෂණ ගුණාත්මක සහ සුරක්ෂීතතා අධ්‍යක්ෂ කාර්යාලය (DHQS) විසින් නැවත ඇතුළත් කිරීම් වාර්තා කිරීම සඳහා මාර්ගෝපදේශ සහ ආකෘතියක් හඳුන්වා දෙන ලදී. ඒවායේ අරමුණු වනුයේ.

  • නැවත ඇතුළත් කිරීම් සඳහා හේතු හඳුනා ගැනීම.
  • නැවත ඇතුළත් කිරීම් අඩු කිරීම.